අහස තවම යාන්තමට කඳුලු වගුරනවා . හ්ම්…. ලස්සන මල් වැස්සක් .සීනි ඇට වලටත් වඩා ගොඩාක් පුංචි වැහි බින්දු එකින් එක අහසින් හෙමිහිට බිමට වැටෙනවා . ඒ අතරේ යාන්තමට අවුවත් පායලා . …….
මට ඉස්සරහා තියන ලොකු ගහේ උස අත්තකට වැටුනු අමුතුම වැහි වතුර බින්දුවක් ඉර අවුවට දිලිසුනා . දියමන්තියකටත් වඩා ලස්සනට . !
ඒත් මේ ලස්සන වතුර බින්දුව මට අයිති කරගන්න බෑ නේද ?
ඒ බව දැන දැනත් මම ඒ වතුර බින්දුවටම ආදරේ කරා …
ටිකෙන් ටික ඒ ලස්සනම ලස්සන වතුර බින්දුව අත්ත දිගේ පහලට බේරෙන්න පටන්ගත්තා …තව මොහොතකින් ඒ වතුර බින්දුව ගහ ගහ මුලට වැටෙනවා.ඊට පස්සේ කවදාවත් මට ආයෙමත් ඒ ලස්සන බලන්න වෙන්නේ නෑ .!. ආයේ කවදාවත් මට ඒ ලස්සන වතුර බින්දුව දකින්න වෙන්නෙත් නෑ …!
මේ ලස්සන මට හැමදාම දකින්න ඇත්නම් .!
මේ ලස්සන දිලිසෙන වතුර බින්දුව මට මගේම කරගන්න පුලුවන් නම් ..
හැමදාකම උදේට මේ ලස්සන බලාගෙන අවදි වෙන්න තියනවා නම් …!
හැම රෑකම මේ ලස්සන බලල නින්දට යන්න තියනවානම්…!
මගේ ජීවිතේ ආයේ කිසිම දවසක දුකක් දැනෙන එකක් නෑ …
කොහොමත් මම ඒතරම් දුකකින් නෙවෙයි ඉන්නේ ..ඒක නිසා මේ වැහි බින්දුව මට නැති උනා කියලා .මම ඒතරම්ම දුක් වෙන එකක් නෑ …
ඒත් .. ඒත් …. එත් … එත්
මටත් වඩා මගේ හිත දැන් මේ ලස්සනම ලස්සන වැහි වතුර බින්දුවට ආදරේ කරනවා ..! මටත් හොරෙන් .. ඒත් මම හොඳටම දන්නවා මේ වැහි වතුර බින්දුවකට අයිතිවාසිකම් කියන්න මට පුලුවන්කමක් නෑ ..ඒක නිසා මට ඔය පුංචි වතුර බින්දුව ආයෙමත් ඕන නෑ
ඒත් ……
මම කොයිතරම් නම් මගේ හිත රවට්ටන්නද ?
මම හොඳටම දන්නවා අර ඈතින් පේන කඳු වලලු වලිනුත් ඈතට ඈතට …. ඈතටම …….ගිහිං හැංගිලා හිටියත් . කිසිම කෙනෙක් එක්ක කතාබහක්වත් නොකර ..ලෝකෙන්ම වහං වෙලා හිටියත් . මගේ හිත එකම එක වැහි බින්දුවක් ගැන හිත හිත දුක් වෙනවා ..
මගේ ජීවිතකාලේ ඇතුලත වස්සාන කාල බොහොමයක් මම දැකලා තියනවා…ඒත් ඒ පහුගිය කිසිම වස්සාන කාලයක් . මගේ ජීවිතේට මේ තරම් ලස්සන වැහි බින්දුවක් තිලිණ කලේ නෑ .
ඉතින් ….
මේ රිදී පාටින් දිලිසෙන පුංචි වතුර බින්දුව මගේ අතට ගන්න පුදුමාකාර ආසාවකින් මගේ හදවත නලියනවා .
ඒත් ….මම මේ ගැන කාටවත් කියන්න බය උනේ ඇයි ?
“සඳරු අර පුංචිම පුංචි ලස්සන වතුර බින්දුව ඔයාගෙද ?”
මගේ හිත කියවන්න පුලුවන්වෙච්ච අය මගෙන් අහන වෙලාවට .මට කියන්න කිසිම දෙයක්නෑ…! ඒ වෙලාවේ මම ගොළු උනා ..
“නෑ නෑ ! මගේ නම් නෙවෙයි”
ගත් කටටම අහන අහන කෙනාට මම ඒ විදිහට කීවුවා !
ඉතින් දැන් මම කොහොමද එක පාරටම කාගෙන්වත් උදවුවක් ඉල්ලන්නේ ?
“අර දියමන්තියක් වගේ ලස්සන පුංචිම පුංචි වතුර බින්දුවට මම ආදරෙයි ..ඒක මගේ ලඟට ගන්න මට උදවු කරන්න .”
“ඇයි දැං ඔයාගේ නෙවේ කියලා කිවුවේ ?”
හැමෝම මට ඒ විදිහට කියයි ..ඒක නිසා . මෙතනදී මොහොතකට මම තනි වෙලා …
හදවත මොහොතකට නතර උනා වගේ !!!!!!
වැහි බින්දුව එක පාරටම ගොඩක් පහලට ලිස්සලා ආවා … තව මොහොතකින් ..තව මොහොතකින් ..කවම කවදාකවත් ආයේ මට ගන්න බැරි වෙන්නම . මේ පුංචිම පුංචි වතුර බින්දුව …පහලට වැටෙනවා ..! ඊට පස්සේ ආයේ පසුතැවිලා වැඩක් නෑ .. දුක් වෙලා වැඩක් නෑ ..
එක දෙයයි කරන්න තියෙන්නේ !
ලස්සන වැහි වතුර බින්දුව වැටෙන කොටම පැනලා අල්ල ගන්න එක ..!
ඒත් …
වටේ ඉන්න අය මොනවා නොකියාවිද ?
මොනවා කිවුවම මොකද ? මම මේ ලස්සන වතුර බින්දුව නැති කරගන්නේ නෑ !
ඇත්තටම ආදරේ කියන්නේ වේලිච්ච හදවතකට වැටෙන
වැහි වතුර බින්දුවක්නම් ..
විරහව නැමති පොලවට වැටෙන්න කලින්
අපට අල්ලගන්නත් බැරිනම්.
ඒ ආදරය නැමති වතුර බින්දුව වැටිලා
විරහව නැමති පොලවට උරාගන්නවා
එතකොට අපේ හදවත දුක කියන නියගයට අහුවෙලා
ඉරි තැලිලා කෑලිවලට කැඩිලා යනවා….
දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි ..මම මේ ලස්සන වතුර බින්දුව මගේම කරගන්නවා ..බිම වැටෙන්න දෙන්නේ නෑ කීයටවත් ..මම පැනලා අල්ලගන්නවා ..
ඒත් ,………
මට ඉස්සරහා ලොකු කම්බි වැටක් ..මේ වැටෙන් පනින්නේ නැතුව දිලිසෙන වතුර බින්දුවට කිට්ටු වෙන්න අමාරුයි …වැටෙන් පනින්න්ද ?
වටෙන් එහාට පැන්නොත් ආයේ මෙහාට එනවා බොරු …….
වතුර බින්දුව දැන් අග්ගිස්සටම ඇවිල්ලා තව තත්පරයක්වත් නෑ මට …මොකද මම කරන්නේ ..වැට පනින්නත් බෑ …
වතුර බින්දුව වැටුනා !!!!
පුලුවන් තරම් වැට ලඟට ගිය මම ..මට පුලුවන් උපරිමේටම මගේ අත දික්කරා.. දියමන්තියකට වඩා මට වටින ..හැමදේකටම වඩා මට ලස්සන. ලෝකයක් තරම් ආදරේ කරන.. හුරුබුහුටි වැහි වතුර බින්දුව අල්ල ගන්න ..
වේගයෙන් පහල ආපු ඒ ලස්සන වතුර බින්දුව ..මගේ අතේ ඇඟිල්ලක යාන්තමට ගෑවිලා පහලට වැටුනා ..! වැටිලා නොපෙනී ගියා
මගේ ඇඟිල්ලක යන්තමට ගෑවුනත් ..ඒ වැහි බින්දුව මගේ ආත්මයම සීතල කරා….!
මොහොතකට මගේ ජීවිතයම වර්ණවත් කලා .!
මට ගොඩාක් ආදරේ කරා
අන්තිමට යන්න ගියා …………………………………………………………
කමක් නෑ … මට ඒ හොඳටම ඇති ..
ඇත්තටම වතුර බින්දුවක් අයිති කාටද අහසටද ?, පොලවටද ?
පොලව හැමදාමත් කරන්නේ අහසට වතුර බින්දුවක් දීලා ආයේ ඒ වතුර බින්දුව උදුර ගන්න එක …
ඉතින් හැමදාමත් ඒ අහස
හිස් අහසක්
සඳරු //
~~නිහඩ ලොව බිදින්න~~
අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.
.